Sunday, February 14, 2021

 බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 136කි.

              මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සඳහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන්  පොහෝ දින නිවාඩුව බෞද්ධයන්ට අහිමි වන් නේ වසර 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩුකාරවරයාගේ කැරිරු නියෝගයක බල මහිමයෙනි. ඔහු පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි. ඉන්පසු එළඹෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට මව්බිම යටත් වෙන අඳුරු යුගයේ 1817 අංක 5 දරණ ආඥා පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වෙයි.

            මෙසේ තම උතුම් ආගමික උරුමයේ වරප්‍රසාදය අහිමි වන බොඳුනුවන් අසරණව කල් ගෙවූ යුගය හමාර වී මේ සඳහම් එළිය මතුවන හෝරාව ඇරඹෙන්නේ් වසර 1883 මාර්තු 25 වනදා අඳුරු රාත්‍රියේදීය. එදින බොරැල්ල මහ පන්සලේ සිට කොටහේන දීපදුත්තමාරාමය වෙත, බෞද්ධ සංස්කෘතික අංග රැගත් පෙරහැරක් ගමන් ආරම්භ කරයි. මෙම පෙරහැර සංවිධානය කරන්නේ දීපදුත්තමාරාම විහාරාධිපති වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙනි. රාත්‍රී කාලයේ වීදි සංචාරය කරන පෙරහැරට අතරමඟදී දැඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙහිදී පෙරහරෙහි ගමන් ගත් අයෙකුගේ ජීවිතය පවා අහිමි වන අතර එම අඳුරු ප්‍රවෘත්තිය කොටහේනේ කැරැල්ල  ලෙස විදේශයන්හි පවා ප්‍රසිද්ධියට පත් වෙයි. 

          අයුක්තිය අසාධාරණය ඉදිරියේ පරගැති නොවූ අතීත, අභීත භික්ෂූන් වහන්සේගේ ගමන් මඟ අත් නොහරිමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියෝ, අහිංසාවාදී පිළිවෙතින් මේ පීඩනයට මුහුණ දීමට ඉදිරි සැලසුම් සකස් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස වස්කඩු වේ ශ්‍රී සුභූති හා හික්කඩු වේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ද ඇතුළුව බෞද්ධ ආරක්ෂක කමිටුව නමින් සංවිධානයක් බිහි වෙයි. එම කමිටුවේ යෝජනා රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා ඉදිරිපත් කළ සන්දේශය සැලකිල්ලට ගනිමින් එංගලන්තයේ මහා රැජිණගේ නියෝගයක් මත 1885 මාර්තු 27 දින ප්‍රකාශිත ගැසට් නිවේදනයක් මඟින් වෙසක් පුර පසළොස්වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් වෙයි.ලද ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වන බෞද්ධ ආරක්ෂක සභාව, එළඹෙන වෙසක් පුන් පොහෝ දින නිවාඩුව අති උත්කර්ෂවත් ලෙස සැමරීමට තීරණය කරයි. එහි සංවිධාන කටයුතු වෙනුවෙන්ද දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්වන අතර එහි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන් ද ප්‍රමුඛව කටයුතු කරති. 

          එළඹෙන වෙසක් උත්සවය සැමරීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කරගත යුතු යැයි කමිටුව තීරණය කරන අතර ඔවුන් සැම දෙනාගේම අදහස් යෝජනාවන්හි අවසන් ප්‍රතිඵලය ලෙස ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වන දින දී නිර්මාණය වේ.

         රාජ්‍ය වර්ෂ 1885 අප්‍රෙල් මස 17 වන දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසාය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩන පීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව සැබෑවක්ය. මෙවැනි තත්වයන්ට පත් වූ සෑම අවස්ථාවකම භික්ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී වූ නායකත්වය සමස්ත සමාජයේම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකීය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හීදී බිහි වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැක.

           සංකේතාත්මක සන්නිවේදනයේ මාධ්‍යක් වශයෙන් දුර  අතීතයේ සිටම භාවිත පරමාර්ථ අතිශය පුළුල් පරිසයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කොෂයේ ජන කොට්ටාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්‍රහණයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිඹිබු කිරීමට ද ඓශ්චර්යය, සෞභාග්‍ය, ආරක්ෂාව, අභියෝගය, අවනතභාවය, අභිමානය, ගෞරවය, පක්ෂපාතීත්වය හා අපේක්ෂා යන විවිධාර්ත ප්‍රකාශ කිරීම පිණිස කොඩිය හෙවත් ධජය භාවිත කෙරේ යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ කොඩිය බිහි වූයේ බුදු දහම, බෞද්ධ සමාජය, බොදු හැකියාව, බෞද්ධත්වය කොටින්ම බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිඹිබු කිරීම පිණිසයි.

          මෙසේ නිර්මාණය වූ කොඩිය 1885 අප්‍රෙල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමුවරට ප්‍රසිද්ධ කරන  ලදි.  මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවිධ මත ද පවතී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කිහිපයක එම වර්ෂයේ වෙසක් දිනයේදී එනම් තිබූ අප්‍රේල් මස 28 වන දින සිදු කෙරිණ. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ත මූලස්ථානය, හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජ මහා විහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනිකුත් ස්ථානවලද එසවීමට අවස්ථාව ලබා දුනි. 1888 දීම පළමු වතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශන කිරීමට ද කටයුතු යෙදීය.

         බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කට්තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩිය අනුව යමින් දිගටි හැඩයට නිර්මාණය කර තබූ එකක් විය. ඒ අනුව එවකට පැවති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැණිනි. අදද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. 

          1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේදී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරීන් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිනව තීරණය කරනු ලැබූ අතර අද දක්වාම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින්ම පවත්වා ගෙන යනු ලැබේ.

           අප බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, මහා ප්‍රඥාව, උදාරත්වය සහා ධර්මයේ පාරිශුද්ධත්වය පිළිඹිබු කෙරෙන ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය බෞද්ධ විහාරස්ථාන ඇතුළු බොඳුනුවන්ගේ බිම්හි ළෙල දෙන්නට වී වසර ගණනාවකි. එවකට විසූ පඬිවරුන්, උගතුන් හා සාඩම්බර බෞද්ධයන් විසින් මෙම ධජය නිර්මාණය කිරීමට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලබා දෙන ලදි.

11 comments: