මාධ්‍ය සාක්ෂරතාවය .
නූතනයේ අප
ජීවත් වන්නේ තොරතුරු මූලික කරගත් සමාජයක් තුළය. ඒ තුළ මානවයා නිරන්තරයෙන් තොරතුරු
පිපාසාවකින් ජීවත් වේ. මානවයාගේ එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නූතන ජනමාධ්‍ය මෙන්
ම නවමාධය කටයුතු කරයි. එසේම වර්තමානය
වනවිට මාධ්‍ය සාක්ෂරතාවය යන මාතෘකාව කතාබහට ලක් වෙමින් පවතී. එනම් සමාජය තුළ ජීවත්
වීමේ දී මිනිසාට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සාක්ෂරතාවය යන්න හඳුනා ගත හැකිය.
සාක්ෂරතාවය ලෙස හඳුන්වනු ලබන්නේ අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවයි. මෙම
සාක්ෂරතාවය විවිධ ක්ෂේත්‍ර සඳහා උපයෝගී වේ. ඒ අනුව මාධ්‍ය සඳහා ද මෙම සාක්ෂරතාවය
බලපානු ලැබේ. මාධ්‍ය සාක්ෂරතාවය වර්තමාන සමාජයට අතිශය වැදගත් වන්නක් ලෙසින්
හඳුනාගත හැකිය. මාධ්‍ය සාක්ෂරතාවය යනු මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සංදේශ විචාරශීලීව
අවබෝධ කර ගනිමින් භාවිතයට ගැනීමේ හැකියාවයි. ඕනෑම මිනිසෙකුට වර්තමානයේ මෙම මාධ්‍යන්
පිළිබඳ අධ්‍යනය වැදගත් වේ. වර්තමාන සමාජය තුළ ප්‍රබල ලෙස මාධ්‍ය කටයුතු කරයි.
මුල්කාලීනව මුද්‍රිත මාධ්‍යත් වර්තමානය වනවිට විද්්‍යුත් මාධ්‍ය මඟිනුත් ප්‍රබල
බලපෑමක් එල්ල කර ඇත. එම මාධ්‍යන් මඟින් සන්නිවේදනය කරන සංදේශ විචාරශීලීව අවබෝධ කර
ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය යන්න අත්‍යවශ්‍ය කරුණකි.
මාධ්‍ය සාක්ෂරතාවය යන යෙදුම
අද වනවිට සුවිශේෂී වැදගත්කමකින් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවකි. එනම් අසීමිතව
වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය
සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වේ. ලොව දියුණු රටවල් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අවධානය ඉහළ
මට්ටමක පැවතිය ද තුන්වන ලොකයේ රටවල් මේ සම්බන්ධයෙන් තවමත් නිසි උනන්දුවක් දක්වා
නොමැත. එහෙත් දියුණු රටවල් භුක්ති විදින සෑම මාධ්‍යක්ම මේ රටවල් ද අඩුවක් නැතිව
පරිහරණය කරනු ලබයි.
මාධ්‍ය සාක්ෂරතාවය අයත් වන්නේ
මාධ්‍ය අධ්‍යාපනයටය. 1930 දශකයේ
මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ සැළකීමේ දී ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය
වැනි රටවල් මාධ්‍ය සාක්ෂරතාවය වෙත දැඩි අවධානය යොමු කර ඇත. වර්තමානය වනවිට යම්තාක්
දුරකට අප රට තුළ ද මාධ්‍ය අධ්‍යාපනය සමඟ මෙම මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ යොමු වන අවධානය
කෙමෙන් වර්ධනය වන බවක් දැකගත හැකිය. මාධ්‍ය අධ්‍යාපනයේ අරමුණක් ලෙස මාධ්‍ය
සාක්ෂරතාව පෙන්වා දිය හැක. එසේ වුවද ලාංකීය වර්තමාන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ
සැළකීමේ දී මාධ්‍යකරුවන්ට මෙන් ම ග්‍රාහකයන්ට නිසි මාධ්‍ය සාක්ෂරතාවයක් තිබේද යන්න
ගැටලුවකි. එනම් මෙම ක්‍රියාවලිය තුළ මාධ්‍ය සාක්ෂරතාව ග්‍රාහකයාට පමණක් නොව මාධ්‍ය
සංදේශ නිර්මාණය කරනු ලබන මාධ්‍යකරුවන්ට ද වැදගත් වන කරුණකි. ඔවුන් හට නිවරැදි මාධ්‍ය
සාක්ෂරතාවයක් තිබේනම් පමණි සාර්ථක සංදේශයක් ග්‍රාහකගත කිරීමට හැකි වනු ඇත්තේ.
මාධ්‍ය සාක්ෂරතාවය යන්න විවිධ විද්වතුන් මෙසේ
නිර්වචන ඉදිරිපත් කර තිබේ.
“මාධ්‍ය
සාක්ෂරතාවය යනු අපට දිනපතා අලවිකරනු ලබන දැනුම් දෙන සහා පිනවනු ලබන සංදේශ විග්‍රහ
කිරීම සහ පෙරා ගැනීම සඳහා ඇති හැකියාවයි. එය සියලු මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනාත්මක
චින්තනයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවයි. මාධ්‍ය හිමිකාරිත්වය තුළ සැග වී ඇති
උත්තේජනයන්, මුදල් හා හර පද්ධතීන් ඇතුළු නිෂ්පාදනයන් යට සැඟවුණු දෑ ප්‍රශ්න කිරීමට
පෙළඹවීමකි යන ඉහත කරුණු සියල්ල කෙරෙහි බලපාන්නේ කෙසේද යන වග විමසා බැලීමකි.”
-ජේන් මාලිට්-
“සංදේශ ලබා
ගැනීමේත් විශ්ලේෂණය කිරීමේත් විනිශ්චය කිරීමේත් ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි”
-ඇලන් රූබි-
“මාධ්‍ය
සාක්ෂරතාවය යනු සමාජයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද යන්න පිළිබඳ ඇති
දැනුමකි.”
- විශාරද පෝල්
මසාරිස්-
එසේම මාධ්‍ය
සාක්ෂරතාවය තුළ ඇති අන්තර්ගත ලක්ෂණ පිළිබඳව ද දැනුමක් පැවතීම ඉතා වැදගත් වේ. ඒ
අනුව ආර්ට් සිල්වර් බ්ලැට් නැමැති විශේෂඥ පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාව පිළීබඳ
මූලිකාංග කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
- මාධය බලපෑම පිළිබඳ අවබෝධයක් තිබීම.
- ජන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබීම.
- මාධ්‍ය සංදේශවල විවිධ උපක්රම විශ්ලේෂණය කිරීම සාකච්ඡා කිරීමේ ඇති හැකියාව.
- ජීවිතවල හා අපගේ සංස්කෘතියේ දැක්මක් ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීම.
- මාධ්‍ය අන්තර්ගතය ඇගයීම, අවබෝධය හා එයින් තෘප්තිමත් වීමට ඇති හැකියාව.
- මාධ්‍ය ක්රියාකාරිත්වයේ දී ඒවා බැඳී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිළිබඳ අවබෝධය.
- ඵලදායී නිෂ්පාදන හැකියාව හා යෝග්යතා වර්ධනය.
වර්තමානයේ අප ජීවත් වන්නේ මාධ්‍ය සාක්ෂරතාවය අන් කවරදාටත් වඩා අවශ්‍ය යුගයකය. එනම් නූතන මාධ්‍ය මඟින් ග්‍රාහකගත කරනු ලබන සංදේශ යථාර්ථවාදී ලෙස වටහා ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය යන්න අත්‍යවශ්‍ය කරුණකි. එහෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.