නුවරකලාවියේ
ජන ඇදහිලි හා විශ්වාස.
සිංහලයේ අවසන් රජුගේ කාලයේ පාලන බල ප්‍රදේශයක්
නුවරකලාවිය ලෙසින් පැවතුණ බවට තොරතුරු ඇත. රජරට වැව් බැඳි අඩවිය, නුවර
වැව දිසාවනිය ආදී තවත් නම් ඊට භාවිත වී තිබේ. නුවර වැව, කලා
වැව, පදවිය
යන වැවි තු නෙන් පෝෂිත වූ ප්‍රදේශයේ ජීවත් වූ පිරිස ඊට අයත් බව එක් විද්වත් මතයකි.
නුවර, කලා, විය
වැව් තුනේ නම් ගෙන සාදා ගත්තක් බවට ද තර්ක ඇත. එය නිවැරදි නම් රිටිගල, මිහින්තලාව, මොරවැව, කොස්සෝ
කන්ද ආදී ප්‍රදේශ රැසක්ම නුවර කලාවිය ප්‍රදේශයෙන් බැහැර වනු ඇත. තොරතුරු ගවේෂණයේ
දී තහවුරු වන්නේ මහවන්නි උන්නැහැ තම දිසාවනිය පාලනය පහසු කර ගැනීමට කුඩා
වන්නිවරුන් තිදෙනෙකු පදවියෙත්, කලා වැවෙත්, නුවර
වැවෙත් තබාගෙන ඉතා විශාල වන්නි ප්‍රදේශයම පාලනය කළ බවයි. උඩරට මහා රජු ගේ පාලන යේ
නුවරකලාවියට සීමා කඩයිම් වූයේ උතුරින් පදවියත්, දකුණින්
පලාගල අසල පරවහ ගමත්, බටහිරින් කලා ඔය මෙකන්වන පාලමත්, නැගෙනහිරින්
ත්‍රිකුණාමලය අසල ඇති ගල ගොඩ හීන්න නම් ගමත් ය. මින් වට වූ භූමිය වර්ග කිලෝමීටර් 7190
වක් වන බව වර්තමාන මිනුම් දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙයි.
අප ජන ඇඳහිලි හා විශ්වාස පිළිබඳ සොයා බලනුයේ එකී වපසරියේ ය. හෙළයාගේ ආගමික, ජාතික, සංස්කෘතික, වටිනාකම් ඇති වැඩි කොටසක මූලාරම්භය සිදු වී ඇත්තේ ද මේ ප්‍රදේශයේ ය. ඒ නිසා මුළු රට පුරා අද වනවිට විසිරී පැතිරී පවතින ජන ඇඳහිලි හා විශ්වාස බොහොමයක් නුවරකලාවියේ එකී ඇඳහිලි විශ්වාසවල ද සමාන ලක්ෂණවලින් යුතුව පවතී. මේ අතර නුවරකලාවියේ කොටුගම්වල ඇත්තන්ට ම ආවේණිකව පැවත එන ඇදහිලි හා විශ්වාස ද තිබේ.
ඇදහිලි ඉතිහාසයෙන් කියැවෙන්නේ ඒවා ගමකට, පළාතකට, රටකට, සීමා කළ නොහැකි බවයි. මිනිසා සත්ත්වයෙකු ලෙස තමාගේ කුඩා බවත්, විශ්වයේ විශාලත්වයත් විවිධ විෂම ක්‍රියාකාරීත්වයත් ගැන ස්වයං විවේචනයක යෙදීමෙන් බියටත්, අසරණ බවටත් පත්වෙයි. ඉන් ගැලවී ආත්ම රක්ෂණය පිණිස විවිධ දේ කිරීමට පෙළඹෙයි. ඔහු සහනය, ජයග්‍රහණ සොයා කරයි. ආගම් පහළ වීමේ ආරම්භය ද මෙයින් ම මතු වූයේ යැයි ප්‍රබල මතයක් දර්ශනවාදියෝ, විද්‍යාඥයෝ ඉදිරිපත් කරති.නුවරකලාවියේ මුල්ම පදිංචිකරුවන් අවුරුදු දෙදහස් පන්සිය ගණන්වල දී විජය කුමරුගේ පැමිණීමටත් පෙර සිට පැවත එන අයයි. යක්ෂයන් හා නාගයන් ඇඳහූ හෙයින් ඔවුන් යක්ෂ හා නාග ගොත්‍රිකයන් ලෙස නම් කෙරුණු බව වැනන්ට් නම් ඉතිහාසඥයා දක්වයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන රාක්ෂ, සුර, අසුර මිනිසුන් ද විවිධ ඇදහිලි පවත්වා ඇත. ඉන් පසුකාලීන භාරතයෙන් වන සංක්‍රමණ, ආක්‍රමණ නිසා නුවැකලාවියේ ඇත්තන්ගේ අද පවතින ඇදහිලි හා විශ්වාසවලට ඒවා ද බලපා ඇත. ඒ හේතුවෙන් එකම ඇදහිල්ල ඒ ඒ ගම්කොටුවල වෙනස් අපේක්ෂා හා ලක්ෂණ ඇතිව කරනු ලබයි. රජරැටියෝ පුල්ලෙයාර් දෙවියන් ගොවිතැනට සම්බන්ධ කර අදහනවිට, හින්දුවරු නුවණට අධිපතිව පුදනු ලබති. එමෙන්ම නුවරකලාවියේ ඇත්තන් යකුන්ට බලි බිලි දීම, පිදේනි දීම ද සිදු කරයි. එසේ ම තමුන් කරන ගොවිතැනෙන් ජය ගැනීමට හා දරු සම්පත් ලබා ගැනීමට බාරහාර වී ඒවා ඔප්පු දීම ද සිදු කරයි. මේවා භාරතයෙන් ලද වේදයේ එන බමුණු විශ්වාස මත ගොඩනැඟුණු මතවාදයකි.
බුදුන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමට පෙර වැඩම කළ සේක. බුදු දහම ගැන නුවරකලාවියේ ඇත්තන්ට ද කුමන හෝ නිවරැදි අවබෝධයකට පාර කැපුණේ එතැනදීය. මිහිඳු හිමියෝ බුදු දහම ස්ථාපිත කළ සේක. එදා නුවරකලාවියේ ඇත්තෝ බෞද්ධයෝ බවට පත් වූය.
මීට පෙර නුවරකලාවිය හා සිරිලක අනෙකුත් ප්‍රදේශවල ද විවිධ අන්‍යාගම් සහා විශ්වාස පැවති බව ඓතිහාසික මූලිශ්‍රයන්වලින් පැහැදිළි වෙයි. මහා වංශයට අනුව පණ්ඩුකාභය රජු පිළිබඳ කතා පුවතෙන්, බමුණන්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, තවුසන්, දෙවිවරුන් හා යක්ෂයන් පිළිබඳ තොරතුරු ලැබේ. අපේ ඇත්තන් යක්ෂයන් ඇදහූ අයුරු චිත්තරාජ, කාලවේල කතාවෙන් ම පැහැදිළි වේ. පණ්ඩුකාභය රජුගේ මව් උන්මාද චිත්‍රාවන්ට ඉතා කුළුපගව සේවය කළ මේ දෙදෙනා මරණින් පසු යක්ෂ තත්ත්වයට පත් වූ බව කියවේ. මරණින් පසු තමන්ට ඇලුම් කරනා අය උපත් වී උදව් කරන්නේ ය යන නුවරකලාවියේ ඇත්තන් අදත් කරන විශ්වාසයට ද ඈත ඉතිහාසයක් ඇති බව තහවුරු වෙයි. ලොව පවතින ජන ඇදහිලි හා විශ්වාස ඒ ජනයාගේ උවමනාව අනුව ඇති වී තිබේ. අව්, වැසි, ගස්, ගල්, පර්වත, වැව්, අමුණු ආදිය වන්දනාවට පාත්‍ර වූයේ ද ඒ අනුවය. පෙර සඳහන් කළ පරිදි සිදු වූ සංක්‍රමණ ආක්‍රමණ ද නුවරකලාවියෙත් සිදු වීම නිසා ඒ අයගේ ඇදහිලි විශ්වාස ද මුල් බැස ගත්තේ ය.
නුවරකලාවියටම විශේෂ වූ ඇදහිලි හා විශ්වාස සොයා යෑමේ දී දරු උපතේ සිට විපත දක්වා කාලයේ භාවිත ඇදහිලි හා විශ්වාස එක්පසක ඇත. එසේ ම ජීවන වෘත්ති නිසා ඇති වූ ඇදහිලි හා විශ්වාස තවත් පසේකය. තෙවැන්න සොබාදහම හා බැදුණු ඇදහිලි හා විශ්වාසය. බෞද්ධ දෙවිවරු පමණක් නොව අපේ ගම්වල එකමණ්ඩියකට විශේෂිත වූ දෙවියෙක් විසීය. අනුමැතිරාලට ආවේශ වූ මේ දෙවියන් ද ඔවුහු ඇදහූහ. මේ විශ්වාසය හා නිරන්තර ම ත්‍රිවිධ රත්නයට, බුදුදහමට යටින් තබා ගත්හ. ජයසිරිමා හාමුදුරුවන් හා බැඳුණු කළු දේවතාවුන් වහන්සේ, ගොවිතැනේ දේවත්වයෙන් පුදන අයියනා, කඩවර, ඉලන්දාරි, පුල්ලෙයාර්, ගම්දේවතා මුන්වහන්සේලා ද අදහා විශ්වාස තැබූහ. මේ හැරුණු විට වැව් හැදූ මුතුනමිත්තෝ ද නුවරකලාවියේ ඇත්තන් දෙවියන් සේ පුදූහ.
අදටත් පවතින අපේ ඇත්තන්ගේ දේව ඇදහිලි හා විශ්වාස විමසුම්ව බලන විට අපූරු සත්‍යතා ද මතු වෙයි. අන්ධ භක්තියෙන් බැහැරව කෙරෙන විශ්වාස හා ජන ඇඳහිලි නිවරැදු චර්යා ගොඩනැගීමට කොයි කාලයටත් වටිනා විෂය පතයකි.
