Friday, December 10, 2021

               බ්‍රසීලයේ සර්ප කොදෙව්ව.....


                      මිනිසාට පය ගැසීමට තහනම් දූපත එසේත් නැතිනම් භූමියේ සෑම ස්ථානයකම මරණයේ අඳුරු සෙවණැලි ගැවසෙන මිනිස් වාසයෙන් තොර සම්පූර්ණයෙන්ම සර්පයින්ගෙන් පිරුණු දූපතක් පිළිබඳ ඔබට සිතිය හැකිද? නමුත් එසේ පිහිටා තිබෙන අතිභයානක දූපතක් ලෙස Quien Mato Grand හෙවත් සර්ප දූපත හැඳින්විය හැකිය.

                    නම ඇසූ පමණින් ඇඟ කිලිපොලා යන  මෙම සර්ප දූපත පිහිටා තිබෙන්නේ බ්‍රසීලයේ සිට 3km ක් දුරින් වන අත්ලාන්තතික් සාගරයේය. අවුරුදු 11000කට වඩා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අක්කර 110ක විශාල වැසි වනාන්තරයකින් වැසුණු මෙම දූපතේ උග්‍ර විෂ සහිත සර්පයින් හැර වෙනත් කිසිවකු වාසය කරන්නේ නැත. වාර්තා වන ආකාරයට සර්ප දූපතේ විවිධ සර්පයින් 4000කට වඩා ජීවත් වේ. ලෝකයේ උග්‍ර විෂ සහිත සර්පයා ලෙස සැලකෙන රන් හිස සහිත පොළඟා ද මෙම දූපතේ වාසය කරයි. ගණනයන්ට අනුව දූපතේ වර්ග මීටරයක් තුළ සර්පයින් 5 දෙනෙකු ජීවත් වේ. ඒ අනුව දූපතට ගොඩ බසින්නේකු හට අඩි 3ක ප්‍රමාණයක් දුර යාමට නොහැකි අතර කෙසේ හෝ ඔහු සර්ප ප්‍රහාරයකට ලක් වීම නොඅනුමානය.

                                                                                          

                   කෙසේ වෙතත් මෙම සර්ප දූපතේ ප්‍රදීපාගාරයක් පිහිටා ඇති අතර එහි නඩත්තු කටයුතු බ්‍රසීල නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි. නඩත්තු කටයුතු සිදු කරන කිසිදු අවස්ථාවකදී ඔවුන් වෙරළ සමීපයට පය ගසන්නේ නැත. මන්ද සර්ප දූපතේ වෙරළට සමීප වීම එතරම්ම භයානක බැවිනි.

              ඇත්ත වශයෙන්ම මෙම දූපතට මෙතරම් සර්පයින් කෙසේ පැමිණ ඇත්ද? ඇතැම් අය පවසන්නේ දූපතේ සඟවා තිබෙන වස්තුව ආරක්ෂා කිරීමට ඈත ඉතිහාසයේ මුහුදු කොල්ලකරුවන් විසින් දූපතට සර්පයින් දමා ගොස් ඇති බවයි. එසේම විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට දූපතේ සර්ප ගහණය දිනෙන් දින ඉහළ යන බවයි. එමෙන්ම වසර දහස් ගණනක් පුරාවට පරිණාමය වීම හේතුවෙන් මේ වනවිට විකෘති ජාන සහිත සර්පයින් පවා මෙහි වාසය කරන බවට විශ්වාස කෙරේ.

Wednesday, July 21, 2021

කොරෝනා සමය තුළ මිලින වූ මල් කැකුළු




                            2020, 2021 යන වසර ද්විත්වයම මුළු මහත් ලෝකයටම නව ස්වරූපයක් ගෙන දෙන්නට විය. ඊට හේතුව වූයේ කොරෝනා නම් රුදුරු වෛරසයක් සමස්ත ලෝකවාසී ජනතාව වෙළ ගැනීමයි. ඒ හේතුවෙන් ඒ වනවිට පැවති කායික, මානසික, සමාජීය, ආර්ථික යන සෑම ක්ෂේත්‍රයක්ම අඩාල වන්නට විය. එනම් අධ්‍යාපන, රැකියා, ආගමික, දේශපාලනික ආදි සෑම සංස්ථාවක්ම අතරමග නවතා දමන්නට සිදු විය. කොරෝනා වසංගතය නිසාවෙන් නවතා දමා තිබූ අධ්‍යාපනය නැවත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ආරම්භ කිරීමත් සමඟ පාසල් යන වයසේ සෑම දරුවෙකු අතට ජංගම දුරකථනයක් ලබා දීමට සිය දෙමාපියන් උත්සුක විය. ජංගම දුරකථනයත් සමඟ අන්තර්ජාල පහසුකම ද නොඅඩුව ලැබූ හෙයින් කුතුහලයෙන් පිරි වයස්සීමාවේ පසුවන එම දරුවන් ජංගම දුරකථනයත් සමඳ හුදෙකලා වන්නට විය. ඇතැමුන් සිය අධ්‍යාපන කටයුතු වෙනුවට වෙනස් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට යොමු විය. මීට ප්‍රධාන හේතුව වූයේ ජංගම දුරකථනය සිය දරුවන්ට ලබා දීමට උත්සුක වූ දෙමාපියන් ඒ සමඟ තනිවන සිය දරුවා පිළිබඳ සොයා බැලීමට තරම් උනන්දුවක් නොදැක්වීමයි. කොරෝනා සමය තුල ළමා අපචාර සහා අපයෝජන, ළමා හිංසන මෙන්ම ළමා ශ්‍රමික ගැටලු ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව දෙමාපියන්ගේ එම නොසැළකිලිමත් බව යන්නට හොඳින් වැටහේ. මේ වනවිට එහි ඔබ අප සියලු දෙනාම එහි අහිතකර ප්‍රතිඵල නොඅඩුව භුක්ති විඳිමින් සිටී. එනම් මෑතකාලීනව කුඩා දරුවන් මුහුණ දුන් භයානක සිදුවීම් රාශියක් මේ වනවිට එළිවෙමින් පැවතීමයි. කෙසේ හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිවරණ මහතා පෙන්වා දෙන්වා දී තිබෙන්නේ,

  • කොවිඩ් සමය තුළ ළමා අතවර 40% කින් වර්ධනය වී ඇත.
  • මාර්තු මාසය තුළ පමණක් ළමා ලිංගික හිංසනයන් 12 ක්
  • මාර්තු මස 16 වනදා සිට ජූනි 16 වනදා දක්වා කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 3500ක්

                                                                                                                                             යන්නයි.

                        විද්‍යා ඝාතනය, සේයා ඝාතනය තවමත් අපගේ හද තුළ දෝංකාර දෙන මොහොතක මෑත සති තුන හතර අතර කාලය තුළ එවැනි දූෂණ, අපයෝජන සිදුවීම් රාශියක් නොනවත්වා අපට අසන්නට දකින්නට සිදු වීම අභාග්‍යකි.  මෙහි තිබෙන කනගාටුදායකම කරුණ වන්නේ එම සිදුවීම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුත්තෝ එම දරුවන්ගේම මව, පියා, සහෝදරයන්, නෑදෑහිතවතුන් මෙන් ම අසල්වාසීන් වීමයි. ඇතැම් විට ඊට පෙළඹීමට ප්‍රධාන හේතුව කොරෝනා සමයත් සමඟ නිවසට කොටු වීමත් සමඟ සිදු වූ මානසික පීඩාවන් විය හැකිය. එසේත් නොමැතිනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිය පාලනය කරගත නොහැකි චිත්තවේගයන් සිය දරුවන් ඔස්සේ මුදා හැරීමයි. මේ ආකාරයට මෙලෙස විනාශ වන්නේ  මල් කැකුළු වන්වූ අහිංසක දරුවන්ගේ ජීවිතයි. මෙසේ දරුවන්ගේ ජීවිත අකාලයේ විනාශ වීමට ප්‍රධාන කරුණක් වන්නේ ඔවුන්ගේ දෙමාපියන් සතු නොසැළකිලිමත්භාවය නොවේද? 

                         එසේම කොරෝනා සමය තුළ ප්‍රබලව මතු වූ තවත් ගැටලුවක් වූයේ ළමා ශ්‍රමික ගැටලුවයි. මෙය සමස්ත ලෝකයම වෙළාගෙන තිබෙන බරපතලම ගැටලුවකි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නකි. ඒ අනුව ශ්‍රී ලංකාව ද ඊට ඈඳුණු රටක් බව ඔබ අප සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි. මෙම කාලසීමාව තුළ එවැනි පැමිණිලි රාශියක් ලැබීම ද කනගාටුවට කරුණකි. 


                                   

                        මේ ආකාරයට සලකා බලන විට මෙලෙස දිනෙන් දින විනාශ වන්නේ රටේ අනාගත පරපුර භාර ගැනීමට සිටින මල් කැකුළු නොවේද? එහෙයින් ඔවුන් රැක බලා ගැනීම ඔබ අප සියලු දෙනාගේම වගකීම සහා වගවීම බව තරයේ මතක තබා ගත යුතු කරුණකි. 


Saturday, April 10, 2021

                    මාධ්‍ය සාක්ෂරතාවය  .

              නූතනයේ අප ජීවත් වන්නේ තොරතුරු මූලික කරගත් සමාජයක් තුළය. ඒ තුළ මානවයා නිරන්තරයෙන් තොරතුරු පිපාසාවකින් ජීවත් වේ. මානවයාගේ එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නූතන ජනමාධ්‍ය මෙන් ම නවමාධය කටයුතු කරයි. එසේම  වර්තමානය වනවිට මාධ්‍ය සාක්ෂරතාවය යන මාතෘකාව කතාබහට ලක් වෙමින් පවතී. එනම් සමාජය තුළ ජීවත් වීමේ දී මිනිසාට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සාක්ෂරතාවය යන්න හඳුනා ගත හැකිය. සාක්ෂරතාවය ලෙස හඳුන්වනු ලබන්නේ අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවයි. මෙම සාක්ෂරතාවය විවිධ ක්ෂේත්‍ර සඳහා උපයෝගී වේ. ඒ අනුව මාධ්‍ය සඳහා ද මෙම සාක්ෂරතාවය බලපානු ලැබේ. මාධ්‍ය සාක්ෂරතාවය වර්තමාන සමාජයට අතිශය වැදගත් වන්නක් ලෙසින් හඳුනාගත හැකිය. මාධ්‍ය සාක්ෂරතාවය යනු මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සංදේශ විචාරශීලීව අවබෝධ කර ගනිමින් භාවිතයට ගැනීමේ හැකියාවයි. ඕනෑම මිනිසෙකුට වර්තමානයේ මෙම මාධ්‍යන් පිළිබඳ අධ්‍යනය වැදගත් වේ. වර්තමාන සමාජය තුළ ප්‍රබල ලෙස මාධ්‍ය කටයුතු කරයි. මුල්කාලීනව මුද්‍රිත මාධ්‍යත් වර්තමානය වනවිට විද්්‍යුත් මාධ්‍ය මඟිනුත් ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත. එම මාධ්‍යන් මඟින් සන්නිවේදනය කරන සංදේශ විචාරශීලීව අවබෝධ කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය යන්න අත්‍යවශ්‍ය කරුණකි.

                    මාධ්‍ය සාක්ෂරතාවය යන යෙදුම අද වනවිට සුවිශේෂී වැදගත්කමකින් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවකි. එනම් අසීමිතව වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වේ. ලොව දියුණු රටවල් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අවධානය ඉහළ මට්ටමක පැවතිය ද තුන්වන ලොකයේ රටවල් මේ සම්බන්ධයෙන් තවමත් නිසි උනන්දුවක් දක්වා නොමැත. එහෙත් දියුණු රටවල් භුක්ති විදින සෑම මාධ්‍යක්ම මේ රටවල් ද අඩුවක් නැතිව පරිහරණය කරනු ලබයි.

                   මාධ්‍ය සාක්ෂරතාවය අයත් වන්නේ මාධ්‍ය අධ්‍යාපනයටය. 1930 දශකයේ මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ සැළකීමේ දී ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් මාධ්‍ය සාක්ෂරතාවය වෙත දැඩි අවධානය යොමු කර ඇත. වර්තමානය වනවිට යම්තාක් දුරකට අප රට තුළ ද මාධ්‍ය අධ්‍යාපනය සමඟ මෙම මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ යොමු වන අවධානය කෙමෙන් වර්ධනය වන බවක් දැකගත හැකිය. මාධ්‍ය අධ්‍යාපනයේ අරමුණක් ලෙස මාධ්‍ය සාක්ෂරතාව පෙන්වා දිය හැක. එසේ වුවද ලාංකීය වර්තමාන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ සැළකීමේ දී මාධ්‍යකරුවන්ට මෙන් ම ග්‍රාහකයන්ට නිසි මාධ්‍ය සාක්ෂරතාවයක් තිබේද යන්න ගැටලුවකි. එනම් මෙම ක්‍රියාවලිය තුළ මාධ්‍ය සාක්ෂරතාව ග්‍රාහකයාට පමණක් නොව මාධ්‍ය සංදේශ නිර්මාණය කරනු ලබන මාධ්‍යකරුවන්ට ද වැදගත් වන කරුණකි. ඔවුන් හට නිවරැදි මාධ්‍ය සාක්ෂරතාවයක් තිබේනම් පමණි සාර්ථක සංදේශයක් ග්‍රාහකගත කිරීමට හැකි වනු ඇත්තේ.

 මාධ්‍ය සාක්ෂරතාවය යන්න විවිධ විද්වතුන් මෙසේ නිර්වචන ඉදිරිපත් කර තිබේ.

      මාධ්‍ය සාක්ෂරතාවය යනු අපට දිනපතා අලවිකරනු ලබන දැනුම් දෙන සහා පිනවනු ලබන සංදේශ විග්‍රහ කිරීම සහ පෙරා ගැනීම සඳහා ඇති හැකියාවයි. එය සියලු මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවයි. මාධ්‍ය හිමිකාරිත්වය තුළ සැග වී ඇති උත්තේජනයන්, මුදල් හා හර පද්ධතීන් ඇතුළු නිෂ්පාදනයන් යට සැඟවුණු දෑ ප්‍රශ්න කිරීමට පෙළඹවීමකි යන ඉහත කරුණු සියල්ල කෙරෙහි බලපාන්නේ කෙසේද යන වග විමසා බැලීමකි.

                                                                                                                      -ජේන් මාලිට්-

     සංදේශ ලබා ගැනීමේත් විශ්ලේෂණය කිරීමේත් විනිශ්චය කිරීමේත් ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි

                                                                                                                        -ඇලන් රූබි-

  

   මාධ්‍ය සාක්ෂරතාවය යනු සමාජයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද යන්න පිළිබඳ ඇති දැනුමකි.

                                                                                                             - විශාරද පෝල් මසාරිස්-

                    එසේම මාධ්‍ය සාක්ෂරතාවය තුළ ඇති අන්තර්ගත ලක්ෂණ පිළිබඳව ද දැනුමක් පැවතීම ඉතා වැදගත් වේ. ඒ අනුව ආර්ට් සිල්වර් බ්ලැට් නැමැති විශේෂඥ පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාව පිළීබඳ මූලිකාංග කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

  •     මාධය බලපෑම පිළිබඳ අවබෝධයක් තිබීම.
  •     ජන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබීම.
  •     මාධ් සංදේශවල විවිධ උපක්රම විශ්ලේෂණය කිරීම සාකච්ඡා කිරීමේ ඇති හැකියාව.
  •     ජීවිතවල හා අපගේ සංස්කෘතියේ දැක්මක් ලෙස මාධ් අන්තර්ගතය අවබෝධ කර ගැනීම.
  •    මාධ් අන්තර්ගතය ඇගයීම, අවබෝධය හා එයින් තෘප්තිමත් වීමට ඇති හැකියාව.   
  •      මාධ් ක්රියාකාරිත්වයේ දී ඒවා බැඳී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිළිබඳ අවබෝධය.
  •   ඵලදායී නිෂ්පාදන හැකියාව හා යෝග්යතා වර්ධනය.

                                 වර්තමානයේ අප ජීවත් වන්නේ මාධ්‍ය සාක්ෂරතාවය අන් කවරදාටත් වඩා අවශ්‍ය යුගයකය. එනම් නූතන මාධ්‍ය මඟින් ග්‍රාහකගත කරනු ලබන සංදේශ යථාර්ථවාදී ලෙස වටහා ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය යන්න අත්‍යවශ්‍ය කරුණකි. එහෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.




Sunday, March 7, 2021

   දිනෙන් දින වැඩි වන අන්තර්ජාල අපරාධ


         අප ජීවත් වන්නේ අති නවීන තාක්ෂණයක් සහිත සමාජයක් තුළය. තාක්ෂණ ලෝකයේ විල්පවීය සොයා ගැනීම පරිගණකය ලෙස හැඳින් වූවාට කිසිදු වරදක් නැත. එමෙන්ම අද වනවිට පරිගණකයට නොදෙවෙනි තැනක් අප අත තිබෙන ජංගම දුරකතනයට හිමිව තිබේ. පාසල් යන වයසේ දරුවන් අත පවා ජංගම දුරකතනයක් දැක ගත හැකිය. වර්තමාන මාර්ගගත අධ්‍යාපනය නිසාවෙන් ද දෙමව්පියන් කෙසේ හෝ තම දරුවා හට ජංගම දුරකතනයක් මිල දී ගැනීමට උත්සුක වී තිබේ. කෙළදෙළෙන් සෙල්ලම් කළ යුතු දරුවන් ජංගම දුරකතනය සමඟ වෙනම ලෝකයක තනි වී තිබේ. කාර්යයබහුල සමාජය තුල දෙමාපියන්ට සිය දරුවන් මඟ හැරී යාම නිසාවෙන් ඔවුන් පිළිබඳ සොයා බැලීම සිදු වන්නනේ ඉතාමත් කලාතුරකින් වීම කනගාටුවට කරුණකි. අදවන විට මෙම පරිගණක සම්බන්ධ අපරාධ මොහොතින් මොහොත වැඩි වන බවක් දක්නට ලැබේ. අවම දිනකට එක් අපරාධයක් හෝ වාර්තා වන අවස්ථා ඇත. 

      පරිගණකය හෝ එයට අයත් උපාංග යොදා ගැනීම මඟින් නීතිවිරෝධී ආකාරයට යම් ක්‍රියාවලියක යෙදීම පරිගණක අපරාධයක් බව 2007 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද පරිගණක අපරාධ පනතේ නිර්වචනය කර ඇත.

       අද වනවිට ලෝකය තුළ ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමේ ප්‍රධාන මෙවලම පරිගණකය බවට පත්ව තිබේ. එසේ ම සාමාජිකයන් බඳවා ගැනීම, අරමුදල් රැස් කිරීම, සතුරන් අඩපණ කිරීම ත්‍රස්තවාදී කණඩායම්වල අන්තර්ජාල භාවිතයේ විවිධ අරමුණු වේ. මීට අමතරව තවත් පිරිසක් පරිගණක වෛරස් නිර්මාණය කරමින් ආයතනවල හා පෞද්ගලික පරිගණක තුළට ඇතුළු වී අතවශ්‍ය දත්තයන් සොරා ගැනීම හෝ මකා දැමීම සිදු කරනු ලබයි. තවත් පිරිසක් විසින් වංචාසහගතව තොරතුරු රැස් කරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වේ.

        එසේ ම හැකිං යනු තවත් පරිගණක අපරාධයකි. එමගින් වෙනත් පුද්ගලයින්ගේ සමාජ ජාල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම හෝ දත්ත සොරා ගැනීම සිදු කරයි. එවැනි ක්‍රියා මගින් හැකර්ස්ලගේ තර්ජන ගර්ජනයන්ට හසු වී ජීවිතයෙන් වන්දි ගෙවන ලද ජීවිත ගණන බොහොමයකි. විශේෂයෙන් මුදල් කොල්ල, ලිංගික අල්ලස් වැනි අපචාරයන් එහි ප්‍රතිඵලයන් වේ.මේ ආකාරයට අන්තර්ජාලය හරහා සිදුවන ක්‍රෙඩිට් කාඩ් වංචා, දත්ත විනාශ කිරීම, මානසික බිය වැද්දීම්, ලිංගික හා මූලම්‍ය අල්ලස් ආදිය ජාත්‍යන්තර අවධානයට ද ලක් ව ඇත.

                                    

          එනම් වර්තමානය වනවිට අන්තර්ජාලය තුළ වැරැද්දට පෙළඹෙන ප්‍රධානම අංගය ලෙසින් මුහුණු පොත හඳුන්වා දිය හැකිය. දන්නා නොදන්නා සියල්ලෝම සිය මිතුරන් බවට පත් කර ගනිමින් යම් යම් ක්‍රියා හේතුවෙන් මානසික මෙන් ම කායික වශයෙන් පීඩා විදිමින් ජීවිත් වන පිරිස් කොතෙකුත් ඇත. එම පීඩාව දරා ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ජීවිතයෙන් වංදි ගෙවීමයි. බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව සමාජ මාධ්‍ය තුළ සැරිසරති. තමාගේ එදිනෙදා ක්‍රියාකලාපයන් සේම තමාගේ ජීවිතය් වැදගත් අවස්ථා මුහුණු පොතේ පළ කරමින් ද ඇතැම් අය ඒවාට ලයික් ලැබෙන තුරු ද දෑස් දල්වා බලාගෙන සිටිති. මේ ආකාරයට තමා යම් වරදකට හසු වන්නේ තමාටත් නොදැනීමම වීම කණගාටුවට කරුණකි. බොහෝ පිරිස් මේ ආකාරයට සිය වටිනා කාලය අවභාවිතයට ගෙන තිබෙන අතර ඉන් සමහරක් රාජ්‍ය සේවකයන් වීම දුක්මුසු කරුණකි. ඔබ අපට මතක තිබෙන්නා වූ කාලය තුළ පවා තරුණ ජීවිත කොතෙක් නම් මෙසේ සමාජ මාධ්‍ය අවභාවිතය නිසාවෙන් වංදි ‍ගෙවනු ලැබීද? වර්තමානය තුළ පවා සිදුවන්නා වූ අපරාධ සියල්ලකම පාහේ කොනක මෙම සමාජ මාධ්‍ය බැදී පවතී. මේ මොහොත වනවිට පාසල් දරුවන් බොහෝ දෙනෙකුගේ අතට මෙම ජංගම දුරකතනය නැමැති වෙස් වලාගත් රකුසා පැමිණ ඇත. ඔවුන් සිය නොදැනුවත්කම සමඟ මෙය අවභාවිතය කරන බවට කිසිඳු සැකයක් නැත. එහෙයින් අපරාධ හා සම්බන්ධ වීමට තිබෙන ඉඩකඩ වැඩිය. නමුත් සිය දෙමවිපියන් හෝ අනෙකුත් සමාජානුයෝජන ආයතන නිරන්තරයෙන් මෙවැනි අපරාධ පිළිබඳ දැනුවත් කරන්නේ නම් ඉතාමත් අගනේය. එසේම සමාජ මාධ්‍යයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කළ හැකිය. එවිට ලංකාව තුළ හෝ යම් ආකාරයකට මෙවැනි අපරාධ සිදු වීම අවම කරගත හැකිවනු ඇත.

                                                                  



Wednesday, February 17, 2021

නුවරකලාවියේ 

ජන ඇදහිලි හා විශ්වාස.

                                                                                                                   සිංහලයේ අවසන් රජුගේ කාලයේ පාලන බල ප්‍රදේශයක් නුවරකලාවිය ලෙසින් පැවතුණ බවට තොරතුරු ඇත. රජරට වැව් බැඳි අඩවිය, නුවර වැව දිසාවනිය ආදී තවත් නම් ඊට භාවිත වී තිබේ. නුවර වැව, කලා වැව, පදවිය යන වැවි තු නෙන් පෝෂිත වූ ප්‍රදේශයේ ජීවත් වූ පිරිස ඊට අයත් බව එක් විද්වත් මතයකි. නුවර, කලා, විය වැව් තුනේ නම් ගෙන සාදා ගත්තක් බවට ද තර්ක ඇත. එය නිවැරදි නම් රිටිගල, මිහින්තලාව, මොරවැව, කොස්සෝ කන්ද ආදී ප්‍රදේශ රැසක්ම නුවර කලාවිය ප්‍රදේශයෙන් බැහැර වනු ඇත. තොරතුරු ගවේෂණයේ දී තහවුරු වන්නේ මහවන්නි උන්නැහැ තම දිසාවනිය පාලනය පහසු කර ගැනීමට කුඩා වන්නිවරුන් තිදෙනෙකු පදවියෙත්, කලා වැවෙත්, නුවර වැවෙත් තබාගෙන ඉතා විශාල වන්නි ප්‍රදේශයම පාලනය කළ බවයි. උඩරට මහා රජු ගේ පාලන යේ නුවරකලාවියට සීමා කඩයිම් වූයේ උතුරින් පදවියත්, දකුණින් පලාගල අසල පරවහ ගමත්, බටහිරින් කලා ඔය මෙකන්වන පාලමත්, නැගෙනහිරින් ත්‍රිකුණාමලය අසල ඇති ගල ගොඩ හීන්න නම් ගමත් ය. මින් වට වූ භූමිය වර්ග කිලෝමීටර් 7190 වක් වන බව වර්තමාන මිනුම් දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙයි.

                  අප ජන ඇඳහිලි හා විශ්වාස පිළිබඳ සොයා බලනුයේ එකී වපසරියේ ය. හෙළයාගේ ආගමික, ජාතික, සංස්කෘතික, වටිනාකම් ඇති වැඩි කොටසක මූලාරම්භය සිදු වී ඇත්තේ ද මේ ප්‍රදේශයේ ය. ඒ නිසා මුළු රට පුරා අද වනවිට විසිරී පැතිරී පවතින ජන ඇඳහිලි හා විශ්වාස බොහොමයක් නුවරකලාවියේ එකී ඇඳහිලි විශ්වාසවල ද සමාන ලක්ෂණවලින් යුතුව පවතී. මේ අතර නුවරකලාවියේ කොටුගම්වල ඇත්තන්ට ම ආවේණිකව පැවත එන ඇදහිලි හා විශ්වාස ද තිබේ. 

              ඇදහිලි ඉතිහාසයෙන් කියැවෙන්නේ ඒවා ගමකට, පළාතකට, රටකට, සීමා කළ නොහැකි බවයි. මිනිසා සත්ත්වයෙකු ලෙස තමාගේ කුඩා බවත්, විශ්වයේ විශාලත්වයත් විවිධ විෂම ක්‍රියාකාරීත්වයත් ගැන ස්වයං විවේචනයක යෙදීමෙන් බියටත්, අසරණ බවටත් පත්වෙයි. ඉන් ගැලවී ආත්ම රක්ෂණය පිණිස විවිධ දේ කිරීමට පෙළඹෙයි. ඔහු සහනය, ජයග්‍රහණ සොයා කරයි. ආගම් පහළ වීමේ ආරම්භය ද මෙයින් ම මතු වූයේ යැයි ප්‍රබල මතයක් දර්ශනවාදියෝ, විද්‍යාඥයෝ ඉදිරිපත් කරති. 

               නුවරකලාවියේ මුල්ම පදිංචිකරුවන් අවුරුදු දෙදහස් පන්සිය ගණන්වල දී විජය කුමරුගේ පැමිණීමටත් පෙර සිට පැවත එන අයයි. යක්ෂයන් හා නාගයන් ඇඳහූ හෙයින් ඔවුන් යක්ෂ හා නාග ගොත්‍රිකයන් ලෙස නම් කෙරුණු බව වැනන්ට් නම් ඉතිහාසඥයා දක්වයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන රාක්ෂ, සුර, අසුර මිනිසුන් ද විවිධ ඇදහිලි පවත්වා ඇත. ඉන් පසුකාලීන භාරතයෙන් වන සංක්‍රමණ, ආක්‍රමණ නිසා නුවැකලාවියේ ඇත්තන්ගේ අද පවතින ඇදහිලි හා විශ්වාසවලට ඒවා ද බලපා ඇත. ඒ හේතුවෙන් එකම ඇදහිල්ල ඒ ඒ ගම්කොටුවල වෙනස් අපේක්ෂා හා ලක්ෂණ ඇතිව කරනු ලබයි. රජරැටියෝ පුල්ලෙයාර් දෙවියන් ගොවිතැනට සම්බන්ධ කර අදහනවිට, හින්දුවරු නුවණට අධිපතිව පුදනු ලබති. එමෙන්ම නුවරකලාවියේ ඇත්තන් යකුන්ට බලි බිලි දීම, පිදේනි දීම ද සිදු කරයි. එසේ ම තමුන් කරන ගොවිතැනෙන් ජය ගැනීමට හා දරු සම්පත් ලබා ගැනීමට බාරහාර වී ඒවා ඔප්පු දීම ද සිදු කරයි. මේවා භාරතයෙන් ලද වේදයේ එන බමුණු විශ්වාස මත ගොඩනැඟුණු මතවාදයකි. 

                බුදුන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමට පෙර වැඩම කළ සේක. බුදු දහම ගැන නුවරකලාවියේ ඇත්තන්ට ද කුමන හෝ නිවරැදි අවබෝධයකට පාර කැපුණේ එතැනදීය. මිහිඳු හිමියෝ බුදු දහම ස්ථාපිත කළ සේක. එදා නුවරකලාවියේ ඇත්තෝ බෞද්ධයෝ බවට පත් වූය. 

           මීට පෙර නුවරකලාවිය හා සිරිලක අනෙකුත් ප්‍රදේශවල ද විවිධ අන්‍යාගම් සහා විශ්වාස පැවති බව ඓතිහාසික මූලිශ්‍රයන්වලින් පැහැදිළි වෙයි. මහා වංශයට අනුව පණ්ඩුකාභය රජු පිළිබඳ කතා පුවතෙන්, බමුණන්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, තවුසන්, දෙවිවරුන් හා යක්ෂයන් පිළිබඳ තොරතුරු ලැබේ. අපේ ඇත්තන් යක්ෂයන් ඇදහූ අයුරු චිත්තරාජ, කාලවේල කතාවෙන් ම පැහැදිළි වේ. පණ්ඩුකාභය රජුගේ මව් උන්මාද චිත්‍රාවන්ට ඉතා කුළුපගව සේවය කළ මේ දෙදෙනා මරණින් පසු යක්ෂ තත්ත්වයට පත් වූ බව කියවේ. මරණින් පසු තමන්ට ඇලුම් කරනා අය උපත් වී උදව් කරන්නේ ය යන නුවරකලාවියේ ඇත්තන් අදත් කරන විශ්වාසයට ද ඈත ඉතිහාසයක් ඇති බව තහවුරු වෙයි. ලොව පවතින ජන ඇදහිලි හා විශ්වාස ඒ ජනයාගේ උවමනාව අනුව ඇති වී තිබේ. අව්, වැසි, ගස්, ගල්, පර්වත, වැව්, අමුණු ආදිය වන්දනාවට පාත්‍ර වූයේ ද ඒ අනුවය. පෙර සඳහන් කළ පරිදි සිදු වූ සංක්‍රමණ ආක්‍රමණ ද නුවරකලාවියෙත් සිදු වීම නිසා ඒ අයගේ ඇදහිලි විශ්වාස ද මුල් බැස ගත්තේ ය.

           නුවරකලාවියටම විශේෂ වූ ඇදහිලි හා විශ්වාස සොයා යෑමේ දී දරු උපතේ සිට විපත දක්වා කාලයේ භාවිත ඇදහිලි හා විශ්වාස එක්පසක ඇත. එසේ ම ජීවන වෘත්ති නිසා ඇති වූ ඇදහිලි හා විශ්වාස තවත් පසේකය. තෙවැන්න සොබාදහම හා බැදුණු ඇදහිලි හා විශ්වාසය. බෞද්ධ දෙවිවරු පමණක් නොව අපේ ගම්වල එකමණ්ඩියකට විශේෂිත වූ දෙවියෙක් විසීය. අනුමැතිරාලට ආවේශ වූ මේ දෙවියන් ද ඔවුහු ඇදහූහ. මේ විශ්වාසය හා නිරන්තර ම ත්‍රිවිධ රත්නයට, බුදුදහමට යටින් තබා ගත්හ. ජයසිරිමා හාමුදුරුවන් හා බැඳුණු කළු දේවතාවුන් වහන්සේ, ගොවිතැනේ දේවත්වයෙන් පුදන අයියනා, කඩවර, ඉලන්දාරි, පුල්ලෙයාර්, ගම්දේවතා මුන්වහන්සේලා ද අදහා විශ්වාස තැබූහ. මේ හැරුණු විට වැව් හැදූ මුතුනමිත්තෝ ද නුවරකලාවියේ ඇත්තන් දෙවියන් සේ පුදූහ.

           
            අදටත් පවතින අපේ ඇත්තන්ගේ දේව ඇදහිලි හා විශ්වාස විමසුම්ව බලන විට අපූරු සත්‍යතා ද මතු වෙයි. අන්ධ භක්තියෙන් බැහැරව කෙරෙන විශ්වාස හා ජන ඇඳහිලි නිවරැදු චර්යා ගොඩනැගීමට කොයි කාලයටත් වටිනා විෂය පතයකි.



Sunday, February 14, 2021

 බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 136කි.

              මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සඳහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන්  පොහෝ දින නිවාඩුව බෞද්ධයන්ට අහිමි වන් නේ වසර 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩුකාරවරයාගේ කැරිරු නියෝගයක බල මහිමයෙනි. ඔහු පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි. ඉන්පසු එළඹෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට මව්බිම යටත් වෙන අඳුරු යුගයේ 1817 අංක 5 දරණ ආඥා පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වෙයි.

            මෙසේ තම උතුම් ආගමික උරුමයේ වරප්‍රසාදය අහිමි වන බොඳුනුවන් අසරණව කල් ගෙවූ යුගය හමාර වී මේ සඳහම් එළිය මතුවන හෝරාව ඇරඹෙන්නේ් වසර 1883 මාර්තු 25 වනදා අඳුරු රාත්‍රියේදීය. එදින බොරැල්ල මහ පන්සලේ සිට කොටහේන දීපදුත්තමාරාමය වෙත, බෞද්ධ සංස්කෘතික අංග රැගත් පෙරහැරක් ගමන් ආරම්භ කරයි. මෙම පෙරහැර සංවිධානය කරන්නේ දීපදුත්තමාරාම විහාරාධිපති වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙනි. රාත්‍රී කාලයේ වීදි සංචාරය කරන පෙරහැරට අතරමඟදී දැඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙහිදී පෙරහරෙහි ගමන් ගත් අයෙකුගේ ජීවිතය පවා අහිමි වන අතර එම අඳුරු ප්‍රවෘත්තිය කොටහේනේ කැරැල්ල  ලෙස විදේශයන්හි පවා ප්‍රසිද්ධියට පත් වෙයි. 

          අයුක්තිය අසාධාරණය ඉදිරියේ පරගැති නොවූ අතීත, අභීත භික්ෂූන් වහන්සේගේ ගමන් මඟ අත් නොහරිමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියෝ, අහිංසාවාදී පිළිවෙතින් මේ පීඩනයට මුහුණ දීමට ඉදිරි සැලසුම් සකස් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස වස්කඩු වේ ශ්‍රී සුභූති හා හික්කඩු වේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ද ඇතුළුව බෞද්ධ ආරක්ෂක කමිටුව නමින් සංවිධානයක් බිහි වෙයි. එම කමිටුවේ යෝජනා රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා ඉදිරිපත් කළ සන්දේශය සැලකිල්ලට ගනිමින් එංගලන්තයේ මහා රැජිණගේ නියෝගයක් මත 1885 මාර්තු 27 දින ප්‍රකාශිත ගැසට් නිවේදනයක් මඟින් වෙසක් පුර පසළොස්වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් වෙයි.ලද ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වන බෞද්ධ ආරක්ෂක සභාව, එළඹෙන වෙසක් පුන් පොහෝ දින නිවාඩුව අති උත්කර්ෂවත් ලෙස සැමරීමට තීරණය කරයි. එහි සංවිධාන කටයුතු වෙනුවෙන්ද දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්වන අතර එහි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන් ද ප්‍රමුඛව කටයුතු කරති. 

          එළඹෙන වෙසක් උත්සවය සැමරීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කරගත යුතු යැයි කමිටුව තීරණය කරන අතර ඔවුන් සැම දෙනාගේම අදහස් යෝජනාවන්හි අවසන් ප්‍රතිඵලය ලෙස ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වන දින දී නිර්මාණය වේ.

         රාජ්‍ය වර්ෂ 1885 අප්‍රෙල් මස 17 වන දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසාය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩන පීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව සැබෑවක්ය. මෙවැනි තත්වයන්ට පත් වූ සෑම අවස්ථාවකම භික්ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී වූ නායකත්වය සමස්ත සමාජයේම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකීය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හීදී බිහි වීම විශේෂ ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැක.

           සංකේතාත්මක සන්නිවේදනයේ මාධ්‍යක් වශයෙන් දුර  අතීතයේ සිටම භාවිත පරමාර්ථ අතිශය පුළුල් පරිසයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කොෂයේ ජන කොට්ටාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්‍රහණයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිඹිබු කිරීමට ද ඓශ්චර්යය, සෞභාග්‍ය, ආරක්ෂාව, අභියෝගය, අවනතභාවය, අභිමානය, ගෞරවය, පක්ෂපාතීත්වය හා අපේක්ෂා යන විවිධාර්ත ප්‍රකාශ කිරීම පිණිස කොඩිය හෙවත් ධජය භාවිත කෙරේ යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ කොඩිය බිහි වූයේ බුදු දහම, බෞද්ධ සමාජය, බොදු හැකියාව, බෞද්ධත්වය කොටින්ම බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිඹිබු කිරීම පිණිසයි.

          මෙසේ නිර්මාණය වූ කොඩිය 1885 අප්‍රෙල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමුවරට ප්‍රසිද්ධ කරන  ලදි.  මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවිධ මත ද පවතී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කිහිපයක එම වර්ෂයේ වෙසක් දිනයේදී එනම් තිබූ අප්‍රේල් මස 28 වන දින සිදු කෙරිණ. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ත මූලස්ථානය, හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජ මහා විහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනිකුත් ස්ථානවලද එසවීමට අවස්ථාව ලබා දුනි. 1888 දීම පළමු වතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශන කිරීමට ද කටයුතු යෙදීය.

         බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කට්තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩිය අනුව යමින් දිගටි හැඩයට නිර්මාණය කර තබූ එකක් විය. ඒ අනුව එවකට පැවති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැණිනි. අදද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. 

          1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේදී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරීන් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිනව තීරණය කරනු ලැබූ අතර අද දක්වාම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින්ම පවත්වා ගෙන යනු ලැබේ.

           අප බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, මහා ප්‍රඥාව, උදාරත්වය සහා ධර්මයේ පාරිශුද්ධත්වය පිළිඹිබු කෙරෙන ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය බෞද්ධ විහාරස්ථාන ඇතුළු බොඳුනුවන්ගේ බිම්හි ළෙල දෙන්නට වී වසර ගණනාවකි. එවකට විසූ පඬිවරුන්, උගතුන් හා සාඩම්බර බෞද්ධයන් විසින් මෙම ධජය නිර්මාණය කිරීමට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලබා දෙන ලදි.

Monday, January 18, 2021

 

          රබාන පිළිබඳ සන්නිවේදනාත්මක අධ්‍යයනයක්.



              රබාන යනු මෙරට ජනයා අතර ප්‍රචලිත සරල සංගීත මෙවළමකි. විවිධ තාල තරංග වාධ්‍ය භාණ්ඩ අතර සරලම මාධ්‍ය රබාන විය හැකිය. බෙර දවුල්, තම්මැට්ටම, උඩැක්කි ආදිය මෙන් ම එකැස් බෙර නිර්මාණ අතර ද රබාන සුලබ, සුමට නිර්මාණයක් වී ඇත. එබැවින් ප්‍රභූ සමාජ සම්මත වාද්‍ය මෙවලමකට වඩා එය වීදියේ ගායකයාගේ, යාචකයාගේ සිට සාමාන්‍ය මිනිසුන් අතර භාවිතයට ප්‍රවිශ්ටව ඇත.

             ශ්‍රී ලංකාවේ මුල්වරට රබන් වාදනය යොදා ගැනුණේ මහා විජයබාහු රජතුමා විවාහ වන අවස්ථාවේ දී එහි මංගල උත්සවය සඳහා බව, රබන් කවිවලින් අනාවරණය වේ.

                                                                                                  ( ගුණසේකර,2012,117)

           ලංකාවේ දකුණුදිග ප්‍රදේශයෙන් අත් රබන් වාදනය ප්‍රභවය ලැබූ බවට අදහසකි. නැකුළුගම් ප්‍රදේශය විශේෂයෙන් රබන් ගී පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. රබන් වාදනය කරමින් නොයෙකුත් ගී සින්දු ගායනය කරනු ලබයි. රබාන ඊශ්වර දෙවියන්ගේ නිර්මාණයකි. ඊශ්වර දෙවියන් තමන් දුටු සිහිනයක් අනුව, තමන්ම හිදයට ගොස් සඳුන් ගසක් කපා එය කැබලි කර, එහි වටය වඩුරියනෙන් මැන, අදාළ ප්‍රමාණයේ වට්ටුවක් ගෙන රබන් රෝදය සාදා, එය කරේ දමා ගෙනවිත්, එහි මළ සතෙකුගේ සමක් යොදා, සම්පටි වටේට තබා පිත්තල ඇණ ගසා, බුරුල් හැර සම තද කොට, තන් දිනක් පවනේ තබා වේලා ගෙන එය වාජ්ජම් කොටගත් ආකාරය රබන් උපත පිළිබඳ කවිවල දැක්වේ.

           රබන් වාද්‍ය ශිල්පියෙහි අත් සරඹ දොළසක් ද තාලම් තිස් දෙකක් ද සව්දම් හැට හතරක් ද ඇති බව දක්වයි. එසේ ම සුරල් විසි එකක් ද, පොඩි සුරල් විසි හතක් ද යොදා ගනී. රංඟන හතලිස් අටක් ඇති අතර එහි අගමුලක් නැතත් විසිතුරු බව කියවේ. දෙසිය දොලසක් රැඟුම් මුල් කරගෙන ඊශ්වර දෙවිදුන්ගේ උපදෙස් මත පන්සිළු ගාන්ධර්වයා විසින් ආරම්භ කළ රබන් සරඹ කෙමෙන් මිනිසුන්ට හුරු පුරුදුවූ බව කියවේ.

         එහෙත් විශේෂයෙන් රබන් වාදනය කරමින් ගායනා කරනු ලබන්නේ විරිඳු ය. අද විරිඳු වාදනය සාමාන්‍ය ජනී ජනයා අතර සිදු වේ. බස් රථය වැනි මහජනයා ගැවසෙන ස්ථානවල කාලීන සමාජ ප්‍රශ්නයක් හෝ වෙනයම් අතීත සිදුවීම් අලලා ප්‍රබන්ධිත විරිඳු ගායනාව සාමාන්‍ය සංසිද්ධියකි. එය යාචකයින් මුදල් උපයා ගන්නා මාධ්‍යයක් බවට ද පත් කරගෙන ඇත. එහෙත් මෙහි විරිඳු යනු විරුද කාව්‍ය හෙවත් විරුදාවලී ලෙස හඳුන්වන ව්‍යවහාරය ඔස්සේ නිර්මාණය වූවකි.

          විරුදාවලී හෙවත් ප්‍රශස්ති ගායනය රාජ සභාවල හෝ ප්‍රභූ සභාවල සිදු වූවකි. එවැන් ගායනවලට අදාළ තාල ශබ්ද තරංග නිපදවා ගනු ලබන්නේ රබන් වාදනය කරමිනි. රජුගේ තේජස, කීර්තිය, වීරත්වය, ගුණවත් බව, පරිත්‍යාලශීලී බව ආදී ගුණාංග රබන් වයමින ගායනා කරන්නේ රජු සතුටට පත් කිරීමට රාජසභා කවියන්ගේ කාර්යය භාරය විය. ස්ත්‍රෝත්‍ර ගායන ලෙස ද මෙය හඳුන්වන ලදි. මෙරට ප්‍රශස්ති කාව්‍ය ලෙස රචනා වී ඇති කෘති අතර පැරකුමබා සිරිත, මහ හටන, ඇහැළේ පොල හටන, ඇහැළේ පොල වර්ණනාව ආදී කෘතිවල පද්‍ය නිබන්ධ රිද්මයන් හො විරිත් එසේ රාජ සභාවල රබන් වයමින් ගායනා කළ හැකි බව සිතිය හැකිය. 

           ශබ්ධ මාධූර්ය සහිතව අදාළ ගායනාවන් ඔප්නැංවීමට පහසුවෙන් සරලව මෙන් ම ජංගමශීලීව යොදා ගත හැකි මාධ්‍ය වූයේ රබානය. රබන් වාදන පංචාංගයක් පිළිබඳව ද සඳහන් වේ.

 

  1.          සත්‍රෝත්‍ර ගායන හා උපන් කවි.
  2.          තහංචි පද හෙවත් තහංචි ගායනා.
  3.          නැටුම් සහිත රබන් වාදනය.
  4.          රබන් පෙරළිය (ද්විත්ව කණ්ඩායම් මතින් සිදු කරන)
  5.          රබන් කැරකැවීම හා විරිඳු රබන් වශයෙනි.

   එසේ ම රබන් වර්ග කීපයක් භාවිත කරන බව ද පෙනේ.

  •       මහ රබාන හෙවත් බංකු රබාන
  •       අත් රබාන
  •      මේවර රබාන
  •       සිල්ලු රබාන

            එබැවින් මහනුවර රාජ සභාවේ පමණක් නොව ඉන් පූර්වයෙහි දීර්ඝ කාලයක් තිස්සේ රබන් වාදනය ප්‍රචලිතව පවතින්නට ඇති බව සිතිය හැකි ය. විජය ලංකිවට පැමිණි කල්හි සිරස වස්තු පුර හා ලංකා පුර යක්ෂයින් විසින් ගායන වාදන සහිත ප්‍රිය සම්භාෂණයක නිරතව සිටි බව කියවේ. එසේ නම් එවැනි සභාවල පවා අනිවාර්යෙන්ම මෙවැනි සරල මාධ්‍යක් භාවිත කරන්නට ඇතැයි අනුමාන කිරීම අසාධාරණ නොවේ. ඉන් ප්‍රකට වන්නේ රබන් වාදනය දුරාතිතයේ පටන් මෙරට ජනයා අතර හුරු පුරුදුව පැවති බවයි. රාජ සභා සේ වී රබාන මෙන් ම විවිධ උත්සව, පෙරහැර මංගල්‍ය ආදියේ සුලබව දැකිය හැකි ය. ඒ සඳහා පළපුරුදු රබන් වාද්‍ය හා නර්තන කණ්ඩායම්, ලංකාවේ විවිධ ප්‍රදේශානුගතව ව්‍යාප්තව සිටී. විවිධ රංගනවල යෙදෙමින් රබන් කරකවමින් රබන් ගී ගායනා කිරීම ද සිදු වේ.

රබන් ගැසීම එක්තරා ආගමික යාතු කර්ම හා ශාන්ති කර්ම හා සම්බන්ධ ව්‍යවහාරයක් බව ද ප්‍රකට වේ. එහි දී ගායනා කරන ලද්දේ රබන් ගී ය.

කිම ද මලේ බමරිඳු රොන්                       ගෙනියනවා

සබඳ කලේ බුදු රැස් කඳ                            විහිදෙනවා

තෙරිඳු බලේ සැම තැන් වල                     පැතිරෙනවා

වෙළඳ කුලේ නයි රූපය                          දිලිසෙනවා

                               (ජනක බණ්ඩාර ජයලත්, සංගීතය, පිටුව 50)

               මෙම රබන් ගී ජන පරම්පරානුගතව පවත්වාගෙන එන බැවින ඒවා ජනශ්‍රැති ක්ෂේත්‍රයට ද අයත් වේ. ජන ගී පිළිබඳ අධ්‍යනවල දී රබන් ගී අයත් වන්නේ ආඝාතාත්මික ප්‍රබන්ධ ගණයට ය.

              එසේ ම ස්වදේශිකත්වය රබන් මාධ්‍ය භාවිතය මංගලෝත්සව, ආගමික හා ජාතික උත්සව ආශ්‍රිතව භාවිත වන්නේ, ප්‍රමාණයෙන් විශාල වූ රබන් වාදනය කිරීමෙනි. රබන් කරු නමින් හඳුන්වන කරු තුනක් මත රඳවන ප්‍රමාණයෙන් විශාල රබානක්, කුඩා කණ්ඩායමකි එක් වී වාදනය කරයි. විටෙක අත් රිද්මයානුකූලව හසුරවමින් ද, නැගිට සරල නර්තන විලාශ කරමින් ද රබන් වාදනය කරනු ලබයි. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද සංකේතවත් කරන මාධයක් ලෙස රබන් වාදනය හැඳින්විය හැකි ය. එහි දී උපයෝගී කර ගන්නේ රබන් පදය. මෙරට ප්‍රචලිත රබන් පද රාශියකි. ඒවා සරල රිද්මික ප්‍රකාශයන් ය. ග්‍රාමීය සමාජය හා බද්ධවන සරල සංසිද්ධීන් විටෙක හාස්‍ය ද තවත් විටෙක උපහාසය ද මුසු කර රචනා කර තිබේ.

උඩින් උඩින් වර පෙත්තප්පූ.....

උඩ පල ගත්තත් වට්ටක්කා.....

වත්තේ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි.....

තේක්ක නැන්දේ- තේක්ක නැන්දේ.....

රන් රඹුටන් ගස් දෙකයි......

           ආදී වශයෙන් ප්‍රචලිත රබන් පද වාදනය කරමින්, විනොදාස්වාද සන්නිවේදනයක නිරත වේ. එබැවින් රබාන යනු මෙරට ජන සංස්කෘතියේ ද ජන ජීවිතයේ ද ප්‍රබල අංගයක් බව දැක්වීම සිධාරණය.

                                                  මිල්ලගල නන්දන, (2018), ජනශ්‍රැති විමංසා, සමන්තී පොත් ප්‍රකාශකයෝ

Thursday, October 22, 2020

ගුවන් විදුලියේ රජරට රජු

 

          ගුවන් විදුලියේ රජරට රජු.


'


   වර්ෂ 1966 ජූනි මස 21 වෙනිදා පත් කෙරුණු ගුවන් විදුලි කොමිෂන් සභාව ලංකා ගුවන් විදුලියේ ඉදිරි අනාගත ගමන තීරණය කිරීමෙහිලා ඉතා දැඩි සහා සාධනීය බලපෑමක් සිදුකොට ඇත. හර්බට් හුළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කොමිෂන් සභාව හුළුගල්ල කොමිෂම යන නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමි, එස්.රාජනායගම්, එච්.එච්.එස්.ඉස්මායිල්, ආර්.එච්.පෝල්, පියසේන නිශ්ශංක යන මහත්වරුන් මෙම කොමිසමේ අනෙකුත් සමාජිකයන් ලෙස කටයුතු කොට තිබුණි.

          වර්ෂ 1966 ක් වූ අප්‍රෙල් මස 15 වන දින නිර්දේශ 12 කින් සමන්විත කොමිෂන් සභා වාර්තාව නිකුත් කොට ඇත. දොළොස්වැදෑරුම් යෝජනා සහිත හුළුගල්ලේ කොමිෂන් සභා වාර්තාව මඟින් යෝජනා කොට ඇති ප්‍රධානතම කරුණ නම් ගුවන් විදුලිය ප්‍රාදේශීව ව්‍යාප්ත කළ යුතු බවයි. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් ඔවුනිගේ හැකියා ජාතික තලයට ගෙන ඒමටත් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සන්නිවේදනයත් ඒ මඟින් සහභාගීත්ව සංවර්ධන වෑයම සාර්ථක කර ගැනීමත් අරමුණු කොටගෙන මෙසේ ප්‍රාදේශීය ව්‍යාප්ත කිරීම ආරම්භ වී ඇත.

          මේ අනුව යමින් වර්ෂ 1979 ක් වූ අප්‍රේල් මස 12 වැනිදා අපමණක් පෙරදැරිව නිහඬ රජරට ගුවන් වා තලය හා මුසු වූ රජරට සේවය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලිය ලෙස ඉතිහාසයට එක් වී දැන් වසර 40 ක් ගත වී හමාරය. එවක අනුරාධපුර ගුවන් තොටුපළ ආසන්නයේ කුඩා මැදිරියක ආරම්භ කළ රජරට සේවයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිටි ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස ප්‍රකටව සිටි සිරිල් රාජපක්ෂ මහතාය. ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, සෝමසිරි චන්ද්‍රසේන, සේන ගුණසේකර, එම්.පී. නානයක්කාර ආදීන් එවක ගුවන් විදුලි මාධ්‍යයේ දැවැන්තයන් සේ පිළිගෙන පිරිසක් මේ මුල් කණ්ඩායම සමඟ රජරට පැමිණියේ බක් මාසයේ උදාවන වසන්තය දිගුකාලීනව සාක්ශාත් කරලීමේ අරමුණු වෙනුවෙනි. රජරට ගුවන් විදුලියේ ආරම්භක ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ලෙස පැමිණි ප්‍රකට ගත් කතුවරයෙකු වූ ෆොන්සේකා මහතා ද මෙසේ පැමිණි පිරිස අතරට විය.

       අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ සහා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක හා කෑගල්ල, වව්නියාව, අම්පාර, මුලතිව්, මඩකලපුව, මහනුවර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි ආරම්භ කළ රජරට සේවය ශ්‍රාවකනය් අතර තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් අනුරාධපුරය, මෛත්‍රීපාල සේනානායක මාවතේ කඩපනහ ඉදිරිපිට නව මැදිරි සංකීර්ණයක් ඇරඹෙන්නේ 1985 වසරේදීය.

     එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඒමන් කාරියකරවන මහාගේ ආරාධනයෙන් ජේ. ආර්. ජයවර්ධන රජයේ ගුවන් විදුලිය හා ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ සුරතින් එම වසරේ ජනවාරි 22 වෙනිදා මෙම නව මැදිරි සංකීර්ණය විවෘත වන්නේ නව පහසුකම් සහිත විශාල පටිගත කිරීමේ මැදාරායක්, අංග සම්පූර්ණ සම්බන්ධතා මැදිරියක් හා සංස්කරණ කටයුතු සඳහා තවත් මැදිරියක් සහාතවය. කාර්යාල පහසුකම් ද මෙම නව දෙමහල් ගොඩනැගිලි මැදිරි සංකීර්ණය හා යාව ඇත.

          රස නීරස මුසු පුරා දශක තුනකට වැඩි කාලයක් සිවිල් රාජපක්ෂගෙන් ආරම්භ වී ශ්‍රීපාලි වයර්මන්, හිල්ටන් පෙරේරා, ජී.ටී.වික්‍රමසිංහ, තිලක් සුදර්මන් ද සිල්වා, ඩී.එස් දයාරත්න, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, කිත්සිරි අලුත්ගේ, කපිල රත්නායක, ජෝතිපාල තෙබුවන, ශ්‍රියානි සමරනායක යන මහත්ම මහත්මීන් රජරට සේවයේ පාලකයරු සහා අධ්‍යක්ෂවරු ලෙස ක්‍රියා කළහ.

       


         රජරට ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අධ්‍යක්ෂ ධූරය හෙඹ වූ වකවානුව බව අවිවාදීව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි. හේනේ, කුඹුරේ, මායිමේ, පැලේ, කමතේ පාළුවෙන් කාන්සියෙන් රැය පහන් කළ ගැමි ජන ජීවිත වෙත ගලා ආ දුක්ඛ, දෝමනස්ස, සතුට සොම්නස හා මුහුවෙමින් රජරට ගුවන් විදුලිය ජනතාවට වඩාත් සමීප වැඩසටහන් රැසක්ම එවක ශ්‍රාවකයන් වෙත සමීප කොට ඇත්තේ නවමු අත්දැකීමක පහස නොඅඩුව පිරිමනමිනි. එතෙක් අගනුවර කේන්ද්‍රීයව පැවති ගුවන් විදුලිය මෙසේ ඈත ගම්මැදිවල පය ගසන්නට වීම ශ්‍රාවක අමන්දානන්දයට හේතු වූවා පමණක් නොව ඔවුනට එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවුම් අත්දැකීමක් වී ඇති බව නොරහසකි.

         මෙම වැඩසටහන් බොහොමයක් සම්පාදනය වී ඇත්තේ ජනහදට වඩාත් සමීපව සත්‍ය දැනුම හා වින්දනය කැටි කළ ගුණාත්මක හා අධ්‍යාපනික සේවාවන් ශ්‍රාවකයා වෙත ලබාදිය යුතුය යන රජරට ගුවන් විදුලියේ තේමාවට මනාව ගැළපෙන පරිදිය යන්න විද්වත් පිළිගැනීම වී ත්බේ. විශේෂයෙන් දශක තුනකට එපිටින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ඉදිරිපත් කළ පිලේ පැදුර හා සමාන ආකෘතියක් හා අන්තර්ගතයකින් යුත් කාලීන වැඩසටහන් වත්මන් විද්්‍යුත් මාධ්‍ය භාවිත දක්නට නැතැයි යන්න විචාරක මතය වී තිබේ.එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් අපූර්වත්වයෙන් ප්‍රතිනිරිමාණය කළ පිලේ පැදුර වටා එවක ශ්‍රාවකයන් රොඳ බැඳ ඇත්තේ කිසිඳු වයස් භේදයකින් හෝ තොරවය යන්න අද ද අවිවාදිතය.

         දඬුවම් මාරුවක් ලබා 1961 දී රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියාව ආ සොඳුරු මිනිසා දිවංගත විශාරද ගුණදාස කපුගේ මහතා රජරට ආධුනික ගායක ගායිකාවන් රැසකට සංගීත කරළියට ඒමට මඟ හසර පාදා දුන්නේ ය යන්න අදද අපමණ දෙනෙකුගේ පිළිගැනීමට පාත්‍රව පවති. ගුණදාස කපුගේ සහා ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එක්ව දියත් කළ නව රැල්ල, නව පදමාලා, ස්වර මාධවී, සරල ගී වැනි වැඩසටහන් හරහා ස්වතන්ත්‍රී ගී නිරිමාණය කරමින් මෙසේ කරලියට ආ කලාකරුවන් ගණනාවකි.වර්ථමානයේ විවිධ ජනප්‍රිය කලා මාධ්‍යන් තුළ නිතර දකින ඇගයීමය ලක්වන අපමණක් ශිල්පීන් රජරට ගුවන් විදුලිය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි අයවලුන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සමහරෙකු අද පසුවන ප්‍රබුද්ධ පසුබිමෙයි හිඳ තම කලා දිවියට අත්පොත් තැබූයේ රජරට ගුවන් විදුලිය හරහාය යන්න පැවසීමට තරම්වත් කෘතවේ දී නොවන බව ද පවසන්නකි. 1989 භීෂණ යුගයේ රජරට සේවයේ සහන නිවේදකයෙකු ලෙස ද කටයුතු කොට ඇති ජනප්‍රිය ගායනාව්දී කරුණාරත්න දිවුල්ගනේ මහතා රජරට සේවය හරහා ගායන ලොවට පිවිසියේ කපුගේ ශූරීන් කැපූ මඟ ඔස්සේ නිවරැදිව පා තැබීමෙන්ය. ජයතිලක බණ්ඩාර, නිශාන්ත මුණසිංහ, කුමුදුණී ගුණවර්ධන, ජානකී සුමිත්‍රා දිසානායක, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්ද, ක්‍රිශාන්ත එරන්දක වැනි අය රජරට සේවය මඟින් බිහි වූ එවැනි කුසලතා පූර්ණ ගායක ගායිකාවෝ කිහිප දෙනෙකි.

           පල්ලේගම හේදරතන හිමි, මහින්ද චන්ද්‍රසේකර, රංජිත් රූපසිංහ, රෝහණ දංදෙනිය, කරුණාරත්න ජයතිලක, සීතා රංජනී, නිමල් ආනන්ද වැනි ගී පද රචකයන් ද සිරිල් පෙරේරා, නාලක අංජන කුමාර, උපාලි ජයලත්, චන්ද්‍රපාල කුරුවිටගේ, සෝමදාස සූරිආරච්චි වැනි සංගීතවේදීන් ද රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ රජරට ගුවන් විදුලිය ඔවුන්ගේ කුසලතා ඔප දැමීමට මඟ හසර එළිපෙහෙළි කිරීමෙනි. වර්ථමානයේ වේදිකාවේ නිතර දකින මහින්ද පතිරගේ සහා ගුණදාස මදුරසිංහ දෙපළගේ ගුරු ගෙදර වී ඇත්තේ ද රජරට ගුවන් විදුලියමය. අද වනවිට ද බොහෝ වැඩසටහන් සංරක්ෂණය කොට ඇති තැටි ගබඩාව රජරට සේවය සතු සම්පත්ව පවතී.

        කාලානුරූපීව නූතන සමාජ, දේශපාලනික හා ආර්ථික තත්වයන් සමඟම මහජන සේවයක්ව පැවති ගුවන් විදුලියට විවිධ අභියෝග සහා බාධකවලට මුහුණ පෑමට සිදුව තිබේ. දැනුම, යහපත් රසවින්දනය පසෙකලා මුදල් මත පදනම් වූ විසල් ලෝකයක ශ්‍රාවකයින් අතරමං කිරීමේ වෑයම කරලියට පැමිණ ඇත. මේ අභියෝගය වර්තමානය වනවිට සිහිල් වෑදිය නිල්ල හා සිරිමා බෝ සමිඳු පිස හමා ආ මඳ පවනේ පහස විදිමින් පුරා දශක හතරකට අධික කාලයක් වියපත්ව ඇති රජරට සේවයට ද සාධාරණව පවතී.